එළඹෙන මස සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කොට ඇත. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 17 දෙනෙකු ඇතුළත්ය.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට නවක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත්ය. එම ක්‍රීඩිකාවන් තිදෙනා වනුයේ 21 හැවිරිදි දකුණත් පිතිකාරිණී ඉමේෂා දුලානි, 16 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩිකා විශ්මි ගුණරත්න හා 19 හැවිරිදි වමත් පාදගපන්දු යවන ක්‍රීඩිකා සචිනි නිසංසලායි.

එමෙන්ම මෙම ක්‍රීඩිකාවන් 17 දෙනාට අමතරව තවත් ක්‍රීඩිකාවන් 5දෙනෙකු ලෝක කුසලාන තරගාවලියට නම් කෙරුනු සංචිතයට ඇතුළත් කොට ඇත. එම ක්‍රීඩිකාවන් ජෛව ආරක්ෂක පරිසරයෙහි රැදිසිටිමින් වෙනත් පුහුණුකරුවෙක් සමගින් පුහුණුවීම් වල නිරත වෙයි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා ප්‍රකාශ කරේ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පුහුණු එක්දින තරග 5දී දැක්වූ දක්ෂතා අනුව මෙම සංචිතය තෝරාගත් බවයි.

2022 කාන්තා පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය එළඹෙන වසරේ මාර්තු මස 4 සිට අප්‍රේල් මස 3වනදා තෙක් පැවැත්වෙයි. ඕස්ට්‍රේලියාව,එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය හා ඉන්දියාව මේ වන විටත් තරගාවලියට සුදුසුකම් ලබා අත. සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ වටය වෙනුවෙන් ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ ඇතුළු කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරයි. එම කණ්ඩායම් 10 අතුරින් කණ්ඩායම් 3ක් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය

චමරි අතපත්තු (නායිකා)
හර්ෂිතා මාධවී (උපනායිකා)
ඉනෝකා රණවීර
නිලක්ෂි ද සිල්වා
හසිනි පෙරේරා
සුගන්ධිකා කුමාරි
ඕෂධී රණසිංහ
අමා කාංචනා
උදේශිකා ප්‍රබෝධනී
අචිනි කුලසූරිය
අනුෂ්කා සංජීවනී
කවීෂා දිල්හාරි
තාරිකා සෙව්වන්දි
ප්‍රසාදනී වීරක්කොඩි
ඉමේෂා දුලානි
විශ්මි ගුණරත්න
සචිනි නිසංසලා

Creeda Sports Network