එළඹෙන ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලිය නැරඹීම වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාකර දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කටයුතු කොට ඇත. ඒ අනුව ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 70%කට පමණ ලෝක කුසලාන තරග නැරඹීමට අවස්ථාව හිමිවී ඇත. එළඹෙන ඔක්තෝබර් මස 17 වනදා ආරම්භ වන තරගාවලියේ ප්‍රවේශපත්‍ර මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකිය.

තරගාවලියේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තරගය බවට ඉන්දු පාකිස්තාන තරගය පත්වනු නොඅනුමානය. ඉන්දු පාකිස්තාන තරගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කොට පැය කිහිපයක් ගතවන විටදී අවසන් වීම ඊට කදිම සාක්ෂියකි. තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය පසුගිය ඉරිදා දිනයේදී ආරම්භ වූ අතර පැය කිහිපයක් ඇතුළත ඉන්දු පාකිස්තාන තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අවසන් වූ බවට විදෙස් මාධ්‍ය තහවුරු කොට ඇත.

ඉන්දියාව හා පාකිස්තානය ක්‍රිකට් පිටියේ මුණ ගැසෙනුයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල ඉසව් හා ආසියානු කුසලාන ඉසව් වලදී පමණි. ඉන්දු පාකිස්තාන විස්සයි විස්ස තරගය එළඹෙන ඔක්තෝබර් මස 24වනදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. B කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය පැවැත්වෙයි.

Creeda Sports Network