32වන වරට ඉරානයේ දී පැවති Fajr ජාත්‍යන්තර අභියෝගතා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සමත් විය. මෙම තරගාවලිය පසුගිය ජනවාරි මස 29 වනදා සිට පෙබරවාරි මස 4වනදා දක්වා ඉරානයේ Yazd හිදී පැවැත්විණි.

තරගාවලියේ සුපිරි 64 දෙනාගේ වටයේ දී ඉරාන ක්‍රීඩක මොහොමඩ් පෙයර්වන්ඩ් ලකුණු 21-5ක් හා 21-11 ලෙසින් පරාජයට පත් කරමින් සුපිරි 32 වටයට සුදුසුකම් ලැබූ විරේන් එහිදී බල්ගේරියානු ක්‍රීඩක ඉවන් රුසෙව් වට 2-0ක් ලෙසින් පරාජයට පත් කළේ 21-13ක් හා 23-21ක් ලෙසිනි.

අනතුරුව සුපිරි 16 වටයේදී නෝර්වේ ක්‍රීඩක මාකස් භාරත් 21-19ක් හා 21-11ක් ලෙසින් පරාජයට පත් කරමින් සුපිරි 8 වටයට පිවිසෙන විරේන් එහිදී ලෝක ශ්‍රේණිගතකිරීම් හි 58 වැනි ස්ථානයේ රැඳෙන ජොනැතන් මාතියාස් පරාජයට පත් කළේ වට 2ට 1ක් ලෙසිනි. එහිදී ලකුණු පුවරුව සටහන් වූයේ 19-21, 21-11 හා 21-15ක් ලෙසිනි. අවසන් පූර්ව වටයේ දී වියට්නාම ක්‍රීඩක නගුයෙන් හයිඩාන් හමුවේ ලකුණු 21-15ක් හා 21-19,ක් ලෙසින් පරාජයට පත් වන්නට විරේන්ට සිදු වූ නමුත් තරගාවලියේ පිරිමි කේවල ලෝකඩ පදක්කම ඔහු සතු විය.

විරේන් නෙත්තසිංහ මේ වන විට ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිරිමි කේවල ශ්‍රේණිගතකිරීම් අනුව 68වන ස්ථානය දිනාගැනීමට සමත් වී ඇත.