දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහල එක්දින ක්‍රිකට් ලොක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය දා සිදුවුණා. ඒ සුපිරි කණ්ඩායම් හය තරඟ වටයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවති තරගයද පරාජයට පත්වීමත් සමඟයි.

ඊයේ දිනයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 232ක් රැස් කළහ. එහිදී වැඩිම ලකුණලාභියා වූ Lhuan dre Pretorius පන්දු 77කදී ලකුණු 71ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ලහිරු, මල්ෂ තරුපති හා සුපුන් වඩුගේ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය.

ඉලක්කය හඹායාම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර විසිතුනයි පන්දු දෙකකදි සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 113ක් පමණි. එහිදී වැඩිම ලකුණු රැස්කළ ෂන්මුගනාදන් ලකුණු 29ක් රැස්කිරීමට සමත් විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Kwena Maphaka ලකුණු 21කට කඩුලු 6ක්ද, Riley Norton ලකුණු 28ට කඩුලු 4ක් ද බිදහෙලීය.

මෙම පරාජයත් සමගින් සුපිරි කණ්ඩායම් හය වටයේ මුහුණ දුන් තරග 2කම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය. ඒ හේතුවෙන් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳව බලාපොරොත්තු සුන් විය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරණය දෙස අවධානය යොමු කරන විට සතුටුදායක විය හැකි අන්දමින් දස්කම් අතරට පැමිණියේ දිනුර කළුපහන පමණි. ඔහු තරගාවලිය තුළදී අර්ධ ශතක 3ක් රැස්කිරීමට සමත් විය. ඔහු තරග 5 තුළදී ලකුණු 196ක් රැස්කොට ඇත. කඩුලු රකින ක්‍රීඩක ෂන්මුගනාදන් තරග 5 තුළ ලකුණු 118ක්ද සුපුන් වඩුගේ ලකුණු 104ක්ද රැස්කොට ඇත.සෙසු කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙක් තරගාවලිය තුළ ලකුණු 100ක් රැස්කොට නොමැත. ශ්‍රී ලංකා පන්දු යැවීම දෙස අවදානය යොමු කරන විට විශ්ව ලහිරු තරගාවලිය තුළ කඩුලු 11ක්ද මල්ෂ තිරුපති කඩුලු 7ක්ද දවාගෙන ඇත.