රග්බි ලෝක කුසලාන අසිරිය විදගන්නට රග්බි ප්‍රේක්ෂකයන් දැඩි සූදානමකින් පසුවෙයි. දසවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය මෙවර සැප්තැම්බර් මස 8 වනදා සිට ඔක්තෝබර් මස 28 වනදා දක්වා ප්‍රංශයේ දී පැවැත්වෙයි. මෙවර ලෝක ශූරයන් කවුරුන්ද යන්න පිළිබඳව අනාවැකි ඉදිරිපත් කරන්නට ලොව ප්‍රමුඛ පෙළේ දත්ත විශ්ලේෂක ආයතනයක් වන Opta Analyst කටයුතු කොට ඇත.

ඔවුන් දහස් සංඛ්‍යාත වූ දත්ත AI තාක්ෂණයෙන් යුතු සුපිරි පරිගණකයකට ඇතුළත් කොට ඇත. එම දත්ත අනුසාරයෙන් මෙවර රග්බි ලෝක ශූරතාවය හිමිකරගැනීමට එක් එක් කණ්ඩායමට ඇති හැකියාව ප්‍රතිශතයක් ලෙසින් ඉදිරිපත් කරන්නට ඔවුන් කටයුතු කොට ඇත. ඔවුන් මෙම අනාවැකි පළ කිරීමේදී එක් එක් කණ්ඩායම මෑත කාලීනව දැක්වූ දක්ෂතා, ඉතිහාසය තුළ ඔවුන්ගේ සාර්ථකත්වය, වර්තමාන සංචිතය ඇතුලු බොහෝ නිර්ණායක සලකා ඇත.

Opta Analyst නිකුත් කළ එම ප්‍රතිශතය වාර්තාව අනුව ලෝක කුසලානය දිනාගැනීමට වැඩි අවස්ථාවක් ඇති කණ්ඩායම් 4ක් ඇත. මෙම දත්ත විශ්ලේෂණය අනුව මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් වැඩිම අවස්ථාවක් ඇත්තේ අයර්ලන්ත කණ්ඩායමටයි. කිසිදු අවස්ථාවකදී ලෝක කුසලාන අවසන් පූර්ව වටය තෙක් පැමිණීමට අයර්ලන්තයට නොහැකි වී ඇති අතර ඔවුන් මෙවර තරගාවලිය ජයග්‍රහණය කිරීමට 21.7%ක සම්භාවිතාවක් ඇති බව Opta Analyst දත්ත විශ්ලේෂණය අනුව පෙනී යයි. ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති පුහුණු තරගයේදී තෙවරක් ලෝක ශූරයන් වූ නවසීලන්තය, දකුණු අප්‍රිකාව හමුවේ අන්ත පරාජයක් ලැබීය. මෙම දත්ත වාර්තාව අනුව එක් එක් කණ්ඩායමට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඇති සම්භාවිතාවය පහත පරිදි වෙයි.

අයර්ලන්තය – 21.7%
ප්‍රංශය – 21.4 %
දකුණු අප්‍රිකාව – 20.5%
නවසීලන්තය – 20.2%
ආජන්ටිනාව – 5.7%
එංගලන්තය – 4.4%
ඕස්ට්‍රේලියාව – 3%
ස්කොට්ලන්තය – 1.2%
ෆීජි – 0.9%
වේල්සය – 0.6%

එමෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ එක් එක් කාණ්ඩයේ පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් පිළිබඳව ද දත්ත විශ්ලේෂණය උපයෝගී කරගනිමින් අනාවැකි ඉදිරිපත් කොට ඇත

A කාණ්ඩය – ප්‍රංශය හා නවසීලන්තය
B කාණ්ඩය – අයර්ලන්තය හා දකුණු අප්‍රිකාව
C කාණ්ඩය – ඕස්ට්‍රේලියාව හා ෆීජි
D කාණ්ඩය – ආජන්ටිනාව හා එංගලන්තය